ශිරෝමි අබයසිංහ
සෑම පැය දෙකකට වරක්ම අප රටේ දරුවකු ලිංගික අතවරයට ලක්වන බව නිල සංඛ්‍යාලේඛනවලින් හෙළි වන බවත්, ශ්‍රී ලංකාව ළමා ආරක්ෂණය අතින් ලොව අනාරක්ෂිතම රටවල් 10% අතරට වැටී තිබෙන බවත් ළමා හිංසනයට තිත පදනමේ ආරම්භක සභාපතිනී වෛද්‍ය තුෂ් වික්‍රමනායක, මහත්මිය පැවසුවාය.
එම මහත්මිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ළමා ආරක්ෂණයට බාධා එල්ල වන, දණ්ඩ නීති සංග්‍රහය තුළ ඇති විසමතා සංශෝධනය කිරීම සඳහා ක්ෂණික පිළියම් යෙදීමටත්, ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් රජයේ අනිවාර්ය වගකීම ඉටු කිරීමටත් නියෝග කරමින්, ශාරීරික දඬුවම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මෑත කාලයේ ලබා දුන්, ඉතාමත් සුවිශේෂී ළමා ආරක්ෂණ නඩු තීන්දුව කෙරෙහි, ළමා හිංසනයට තිත පදනමෙහි උපදේශන කටයුතුවලින්ද අනුබලයක් ලැබී තිබෙන බව, විශේෂඥ පිළි ගැනීම බවත් ඇය සඳහන් කළාය. එලෙසින් ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් වඩාත් උද්යෝගිමත් සටහනක් තැබූ ළමා හිංසනයට තිත පදනම, ‘අඳුරු උරුමය නවතමු!’ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිය තෙවන වර්ෂ පූර්ණය සැමරූ බවත් සිහිපත් කළාය.
මෙම සංවාදයට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සරත් විජේසූරිය, නීතිඥ අචලා සෙනෙවිරත්න, සමාජ ක්‍රියාකාරිනී සහ ළමා හිංසනයට තිත පදනමේ තානාපතිනි භූමි හරේන්ද්‍රන්, තරුණ ක්‍රියාකාරිනී සහ ළමා හිංසනයට තිත පදනමේ තරුණ තානාපතිනි ෂයිනුජා ඉන්පානාදන් මෙනවිය, ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින චන්දි අළුවිහාරේ මහත්මිය සහ ශ්‍රී ලංකා වෛද්‍ය පීඨයේ, රොටරැක්ට් සමාජයේ සභාපති තනුජ කොටවලගෙදර මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විද්වත් මඬුල්ලක් සහභාගී විය.
මෙම සංවාදයේදී සාකච්ඡාවට ගැනුනු ප්‍රධාන කාරණා ලෙසින් ශාරීරික දඬුවම් සහ මානසික අපයෝජනයන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කෙරුණු 11 හැවිරිදි ශ්‍රී ලාංකික දැරියකගේ ඓතිහාසික අභියාචනය සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ප්‍රශංසා කිරීම මෙන්ම, ජාතික ළමා ආරක්ෂණ අර්බුදය විසඳීම සඳහා රාජයේ පාර්ශ්වයට ඇති බලපෑම සෙනෙවිරත්න මහත්මිය පැහැදිළි කළාය. දරුවන් ආරක්ෂා කර ගැනීමට සමාජයේ සාමූහික වගකීමත්, මතු පරම්පරාවට ලබා දෙන දායාදයත් මහාචාර්ය විජේසූරිය මහතා අවධාරණය කළේය.
ළමා අපයෝජනය වැළැක්වීම සහ බල ගැන්වීම සඳහා දරුවන් හට අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම අළුවිහාරේ මහත්මිය පෙන්වා දුන් අතර, ළමයා අයිතිවාසිකම් දරන්නකු ලෙසින් පිළි ගැනීමේ අවශ්‍යතාව හරේන්ද්‍රන් මහත්මිය පැහැදිලි කළාය.
‘පරපුරක අභියාචනය' මැයෙන් වූ පූර්වාදර්ශී විවාද මාලාව කොටවලගෙදර මහතා හඳුන්වා දෙනු ලැබිණි. ළමා ආරක්ෂණය වෙනුවෙන් පාසල් සිසුන් සෘජුවම සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. මෙහිදී ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන පිරි නැමූ අතර, මහාචාර්ය විජේසූරිය මහතා රචිත ධනාත්මක විනය ක්‍රම පිළිබඳ ග්රන්ථ පරිත්‍යාග කළේය. ළමා හිංසනයට තිත පදනම පිරි නැමූ සම්මාන අතරින් සුවිශේෂී සම්මානයක් ලෙසින්, අපයෝජනයට ගොදුරු වූ ළමුන් සම්බන්ධ සිද්ධි 10ක අධ්‍යයන එකතුවක් ලිවීම වෙනුවෙන් 'හොඳම කථිකයා' සඳහා ප්‍රදානයක් පිරි නැමිනි. එම අධ්‍යයන එකතුව, ළමා හිංසනයට තිත පදනම නුදුරේදී පළ කිරීමට නියමිතය.
ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ප්රගතිශීලී වෙනස්කම් ඇති කිරීම පිණිස සිවිල් සමාජ සංවිධාන සමඟ රජය සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙම සංවාදයේදී අවධාරණය කෙරුණු අතර, අපගේ අනාගතයේ සැබෑ හිමිකරුවන් වන දරුවන් සඳහා සමානාත්මතාව, යුක්තිය සහ බලාපොරොත්තුව සහතික කිරීමට කටයුතු කරන ලෙස, ළමා හිංසනයට තිත පදනම, සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුර විස්තර www.stopchildcruelty.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.