‘තමන්ගේ දරුවන්ට සලකන ආකාරය පිළිබඳ සමාජ ආත්මය තරම් වෙනත් හෙළිදරව්වක් තවත් නැත. ̓ – නෙල්සන් මැන්ඩෙලා

1814 දී දරුවන් සිවු දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ පළමු ඓතිහාසික වාර්තාව – “රාජ්‍ය පාලනය තුළ ම්ලේච්ඡ හා අතිශය කෲර හැසිරීමක් හා පුද්ගල දුෂ්ටකමේ හා පවුකාරත්වයේ ලක්ෂණ ප්‍රකට කරමින්, හෘද සාක්ෂියේ දෝංකාරත්වය සහ මිනිස් හැඟීම් සම්පූර්ණයෙන් වඳ වී ගොස් ඇති බව පෙන්වනු ලැබූ එක් අතිශය අවාසනාවන්ත අවස්ථාවක් ඉතිහාසයේ එක් දිනෙක සිදු විය. ඇහැළේපොළ අධිකාරම්ගේ බිරිඳගේ සහ දරුවන්ගේ අවාසනාවන්ත ඉරණම තුළ මෙම ප්‍රකාශය මුළුමනින්ම සනාථ වන්නේ කිසිත් නොදත් ළදරු දරුවන් හතර දෙනෙකුගේ ම්ලේච්ඡ ඉරණම ප්‍රදර්ශනය කරවීමට තරම්ම පාලනය කුරිරු වීමෙනි. මවගේ පියයුරෙන් කිරි බොමින් සිටි බාලයා, කුරිරු ලෙස උදුරා ඝාතනය කරන ලද අතර, එම කුඩා දරුවන්ගේ හිස් දෙමව්පියන්ගේ අතින් වංගෙඩියක බහා පොඩි කරවීමට කටයුතු කොට, එකී කාන්තාව සහ තවත් කාන්තාවන් තිදෙනෙකුගේ අත් පා බැඳ ගෙල වටා බරැති ගලක් ගැටගසා ඔවුන් විලකට විසි කොට දියේ ගිලී මිය යෑමට සලස්වන ලදී.” කන්ද උඩරට අත්පත් කර ගැනීමෙන් අනතුරුව උඩරට ප්‍රධානීන් අමතා ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් (ආණ්ඩුකාර) විසින් කරන ලද නිල ප්‍රකාශයෙන් උපුටා ගත්තකි.

විකසනය

සියලුම ජීවීන් තම පැටවුන් පෝෂණය කර ඔවුන්ට සිදුවිය හැකි හානිවලින් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව විශ්වීය සත්‍යයක් වේ. මිනිසා වෙනත් සතුන්ගෙන් වෙන් වන්නේ කෙසේද? චාල්ස් ඩාවින්ගේ විශ්වාසය වූයේ අප සතුන්ට සමාන බවත් අපගේ ඉහළ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස හුදෙක් සතුන්ට වඩා වැඩියෙන් බුද්ධිමත් බවත්ය. අපගේ හෘදය සාක්ෂිය සහ ඉහළ බුද්ධිය හෝමෝසේපියන්වරුන්ගේ වඩාත්ම කැපී පෙනෙන වෙනසේ සාධක වේ.

ශ්‍රී ලංකාව තුළදී මරණීය දණ්ඩනය නියම වූ මිනීමරුවන් නිදහස් කිරීමේ වේගවත් බව ඔහු දැන සිටියේ නම්, මෙම න්‍යාය බැරෑරුම් ලෙස නැවත ඇගයීමට ලක් කිරීමට ඔහු නිසැකවම කටයුතු කරනු ඇත.

තම්බපණ්ණි,සෙරන්ඩිබ්, ලංකාව, ඉන්දියානු සාගරයේ මුතු ඇටය යන නම් වලින් හදුන්වනු ලැබූ ශ්‍රී ලංකාවේ දූපත් පාරාදීසය, නිදහස ලබා වසර 72 ක් ගෙවී ගොස් මේ වන විට ආසියාවේ ආශ්චර්යය බවට පත් වීමේ අරමුණින් ගමන් කරනා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය බවට පත් වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන සහ නීතිමය අධිකරණ බලයෙන් නිදහස් වන විධායක ජනාධිපතිවරයකු විසින් මෙහෙයවනු ලබන මෙම පරිපාලන රටාව සැබවින්ම විශ්මය ජනක දේශපාලන අච්චාරුවක් බවට පත්ව ඇත්තේ, වරදකරු බවට තීරණය වූ කුරිරු ඝාතකයින් නිදහස් කිරීම සඳහා දණ්ඩ මුක්තිය හිමි, විධායක ජනාධිපති වරයා ඇදිහිය නොහැකි බලතල ක්‍රිරියාත්මක කිරීමත් සමගය.

2019 නොවැම්බර් මාසයට ආපසු යමු

ධනවත් උසස් පවුලකින් පැවත එන ජූඩ් ජයමහට වසර 12 ක සිර දඩුවමක් නියම විය. ඒ, ඔහු 2005 වසරේදී ස්වීඩන් ජාතික නව යොවුන් තරුණියක ඇගේ නිවසින් පිටතදී ඝාතනය කිරීම හේතුවෙනි. දඬුවටම එරෙහිව ඔහු විසින් කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප කෙරුණු අතර, ඒ වෙනුවට ඔහුට මරණ දඩුවම නියම විය. එම තීන්දුව 2014 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද්දකි. වින්දිත තැනැත්තියගේ සහෝදරිය, කැරොලයින් ජොන්සන් කියා සිටියේ ඝාතකයා එම සිදුවීම පිළිබඳ කිසිදු ආකාරයේ පසුතැවීමක් පෙන්නුම් නොකළ බවයි. ඔහුව ජීවිතාන්තය දක්වා සිරගත කර යතුරු ඉවත දමන ලෙස ඉල්ලූ ජනතාව ප්‍රීතියට පත් වූහ.

2019 නොවැම්බර් ධුරයෙන් ඉවත් වන ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන, ‘රෝයල්පාක් ඝාතකයා’ වන ජූඩ් ජයමහට සමාව දීමෙන් ඇදහිය නොහැකි අතිශය ප්‍රබල කම්පනයක් සමාජය තුළ ඇති කළේය. දූපත් පාරාදීසය රිච්ටර් පරිමාණ 7.0 ක තරම් කම්පනයට පත් විය.

1991 සිට 2000 දක්වා මන්දගාමී ගමන

ශ්‍රී ලංකාව 1991 දී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට (UNCRC) අත්සන් කරන ලදි. 1996 දෙසැම්බර් මස ළමා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ අනුග්‍රහය යටතේ ය. අපේ දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කරන ලද එකම පාලකයා වන්නේ ඇයයි.

ජනාධිපති කාර්ය සාධක බලකායේ වැදගත්ම නිර්දේශයක් වූයේ 1998 අංක 50 දරන පනත මගින් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) පිහිටුවීමයි. 2006 දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ළමුන්ගේ හා කාන්තාවන්ගේ නිසි ආරක්ෂාව සහ සුභසාධනය සහතික කිරීම සඳහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා ළමා ආරක්ෂණ අධිකාරිය ඒ යටතට පත් කරන ලදී. ඉන් අනතුරුව ඉතා කෙටිකලකින් ළමා ආරක්ෂාව පහත බැසීම ඇරඹිණි.

ළමුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස්, අධිකරණ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) අපොහොසත් වීම හේතුවෙන් බලාපොරොත්තු සුන් කරවන අඩුපාඩුකම් සහ පැමිණිලි සම්බන්ධ ක්‍රියාවලිය දිර්ඝකාලීන හා වේදනාකාරී වී තිබේ.

2017 අවසානය වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ වසර දහයකට වඩා කල් ගත වූ ළමා අපයෝජන සිද්ධීන් 17,000 කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී තිබිණි. මෙම අගය 2018 අවසන් වන විට 20,000 ඉක්මවා ගොස් ඇතැයි විශ්වාස කෙරේ. වින්දිතයින් හට විනිශ්චයක් පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව අමිහිරි මතකයන්වලින් පීඩාවට පත් වෙමින්, ඉතා අවාසනාවන්ත ජීවිත ගත කිරීමට සිදු ව තිබේ.

2018 ජනවාරි මස, ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ පස්වන හා හයවන වාර්තා පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවසන් නිරීක්ෂණ මගින්, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අලස ප්‍රතිපත්තිය බරපතල අවධානයට යොමු කෙරිණි. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙහි ඇදහිය නොහැකි මට්ටමේ පැමිණිලි ප්‍රමාණයක් මගින්ද, එය තවදුරටත් තහවුරු කෙරිණි. 2010 වසරේදී, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි 3892 ක් ලැබුණු අතර, 2019 වන විට සමස්ත පැමිණිලි සංඛ්‍යාව 8558 ක් දක්වා පුදුමාකාර ලෙස වර්ධනය වී තිබිණි.

1992 සිට ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ 6 ක් පවත්වා විධායක ජනාධිපතිවරුන් 7 දෙනෙකු සහ අගමැතිවරුන් 12 දෙනෙකු පත් කර ගෙන ඇතත්,‍් ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් පිළිගත හැකි වර්ධනයක් දක්නට නොමැත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අලුතින් පිහිටුවන ලද අච්චාරු ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ 2020 පළමු දින 15 තුළදී පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් රටේ විවිධ පොලිස් කොට්ඨාශවලින් වාර්තා වී ඇති බවයි. හුරේ! කණගාටුවට කරුණ වන්නේ, ඉලක්කම් අහස උසට නැගීම නිසා අච්චාරු වූ ළූණුද ඔල්වරසන් දීමයි.

2020 මාර්තු වේගවත් ගමන

වයස අවුරුදු 5ක් වූ දරුවෙකුද සමග ළමුන් සිව්දෙනෙකු ඇතුළු නිරායුධ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2015 දී මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත නඩු විභාගයකින් යුද හමුදා මාණ්ඩලික සෙබළ සුනිල් රත්නායක වැරදිකරු වූ අතර ඒ වෙනුවෙන් ඔහුට මරණ දඬුවම නියම කෙරිණි. 2000 දී ඔවුන් අමානුෂික ලෙස ඝාතනය කර පාළු ළිඳක දමා තිබියදී සොයා ගැණිනි. ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහු කළ අභියාචනය 2019 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ප්‍රතික්ෂේප කෙරිණි. ඔහුව ජීවිතාන්තය දක්වා සිරගත කර යතුරු ඉවත දමන ලෙස ප්‍රබල ලෙස ඉල්ලූ ජනතාව ඉමහත් සතුටට පත් වූහ!

කෙසේ වෙතත්, ‘මිරුසවිල් ඝාතකයා’ වන රත්නායක 2020 මාර්තු 28 වන දින නිදහස් කිරීම, කොවිඩ් -19 යෙන් බලපෑමට ලක්ව සිටින අතරේ, දූපත් පාරාදීසය රිච්ටර් පරිමාණයෙන් 8.9 ක වේගයෙන් සොලවා දැමීය – ජනතාව අවිශ්වාසයෙන් කෝප වූහ. එක් රිච්ටර් මාපාංකයක ප්‍රතිඵලයක් දළ වශයෙන් තිස් ගුණයක පමණ මහා පරිමාණ වෙනසක් නිරූපණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෙම තීරණය හෙළා දැකීමට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ක්ෂණිකව පියවර ගෙන තිබුණි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (TISL) ආයතනය, මෙම නිදහස් කිරීමට අදාළ ලිපි ලේඛන, එනම් වන නඩු වාර්තා, නීතිපතිවරයාගේ උපදෙස් සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය ආදිය ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා තිබේ.

මෙම නිදහස් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ගිනියම් වී බොහෝ දේ පළ කර ඇත. අනුකම්පා විරහිත ඝාතකයින් මෙලෙස කිසිදු චකිතයකින් තොරව සමාජයට මුදා හරින විට රටේ ඉහළම පුද්ගලයා සෑම අතින්ම ක්ෂමා ආඝාතයෙහි ගිලී ඇති බවත්,‍් පෙර සිටි ජනාධිපතිවරුන් පරදවන්නට මෙන් සිය ධූර කාලයෙන් ඉතා කෙටි කාලයක් ඇතුළත මෙවැනි කටයුතු සිදු කරමින්, පහත් මට්ටමේ සංකීර්ණතා අභිබවා යන ආකාරයත් එමගින් පෙන්නුම් කරයි.

එහෙත්, සෑම විධායක ජනාධිපතිවරයකු විසින්ම, යුක්තිය පසිඳලීමේ සාමාන්‍ය ක්‍රමවේදය මෙලෙස සමච්චලයට ලක් කිරීම හා අධිකරණයේ උගත් සාමාජිකයන් නිර්වස්ත්‍ර කිරීම සාමාන්‍ය පුරුද්දක් බවට පෙනෙන්නට ඇති විටෙක සියල්ලන්ම කලබල වන්නේ ඇයි?

ජීවිතාන්තය දක්වා සිරගතව සිටින මිනිසෙකු මෙන් නොව, මරණීය දණ්ඩනය නියම වූ මිනිසෙකුට දණ්ඩ නිවැරදි කිරීමේ ක්‍රමය තුළ පුනරුත්ථාපනය හිමි නොවේ. දරුණු අපරාධ සිදු කළ හැකි මිනීමරුවන් නිදහස් කිරීමෙන් අපේ දරුවන් ඉතා බරපතල අනතුරකට මුහුණ දී සිටිති. සමාජයට නැති වූ ආරක්ෂාව එයයි! යතුරු ඉවතලන ලෙස ජනතාව ඉල්ලා සිටියේද එනිසාය.

කැලෑ නීතිය පවතින විට, අපගේ සත්ව සහජ බුද්ධිය නිසා, අපේ පැටවුන් ආරක්ෂා කිරීමට නිතැනින්ම පෙළඹේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ (UNHRC) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්ට (ICCPR) පළමු විකල්ප කෙටුම්පත යටතේ දරුවන් ආරක්ෂා කිරීමට මැළි වන ශ්‍රී ලංකා රජයට එරෙහිව පළමු අභියාචනය සාර්ථකව ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන ගණනකට බලාපොරොත්තුවක් ලබා දෙනු ඇත.

අච්චාරු දමන ලද ළූණු ගිල දැමීමට හා දූපත් පාරාදීසය පාලනය කරන දුගඳ හමන පොල් ගෙඩිය බිඳ දැමීමට පුරවැසියන් යළි පෙළ ගැසෙන්න. – ඩාවින් මහතා ආඩම්බරයට පත් කරන්න!

*වෛද්‍ය තුෂ් වික්‍රමනායක – සභාපතිනි – ළමා හිංසනයට තිත පදනම